Monday, 28 March 2011
පානදුර, වාද්දුව, පොතුපිටිය, කළුතර, කළුතර, කළුතර
රංජිගෙ තාත්ත නැති වුණ වෙලේ දැක්කට පස්සෙ සෑහෙන්න කාලෙකින් අද තමයි කාන්ති රංජිගෙ ඇස් දෙකේ කඳුළු දැක්කෙ. වෙනද හවසට බස් එකේ බර්ටි අයියත් එක්ක දාන අඩියත් අද දාල නෑ වගේ. මොනව වුණත් රංජිම කියනකල් කාන්ති කවදාවත් රංජිගෙන් දවසෙ විස්තර අහල නෑ. කසාද බැඳපු අළුත ගොඩක් උනන්දුවෙන් එදිනෙදා විස්තර කියවපු රංජි වුණත් දැන් විශේෂ දෙයක් හැර බස් එකේ විස්තර කාන්ති එක්ක කියවන්නෙ නෑ.
ඒ වුණත් ඇස් දෙකේ කඳුළු බින්දු එක්ක ආපු වෙලේ ඉඳන් ඇඳුමක්වත් මාරු නොකර සාලෙ සැටියට වෙලා ඉහේ අත් දෙක ගහගෙන ඉන්න තරම් විශේෂ හේතුවක් අදනම් රංජිට සිද්ධ වෙලා වගේ.
.........................
"පානදුර, වාද්දුව, පොතුපිටිය, කළුතර, කළුතර, කළුතර..."
මම හිටියෙ සුපුරුදු විධියටම බස් එකේ ෆුට් බෝඩ් එකේ එල්ලිලා කෑ ගගහ...
බස් එක කටුබැද්ද හන්දියේ හෝල්ට් එකේ පේමන්ට් එක අයිනෙන් හෙමින් ඉස්සරහට ගියා...
"පානදුර, වාද්දුව, පොතුපිටිය, කළුතර, කළුතර, කළුතර..."
මම කෑ ගැහුවා... ම්හු.. එකෙක්වත් නගින්නැති පාටයි. ඔපිස් ටයිම් ඉවර නිසා දැන් ඒ තරම් සෙනගත් නෑ. ඉන්න එවුන් ඒසී වල නගින්නෙත් නෑ...
"යමු යමු බර්ටි අයියා..."
මම කිව්වා.
"අර එක්කෙනෙක් දුවගෙන එනවනේ.."
බර්ටි අයිය වම් පැත්තෙ සයිඩ් කණ්නාඩිය බලාගෙන කිව්වා.
"පානදුර, වාද්දුව, පොතුපිටිය, කළුතර, කළුතර, කළුතර..."
මම ආයෙත් කෑ ගැහුවා.
කැප් එකක් දාගත්තු තරුණ කොල්ලෙක් දාඩිය පෙරාගෙන දුවගෙන ඇවිත් බස් එකේ එල්ලුනා. හිස්වෙලා තිබුණ ෆුට් බෝඩ් එක ගාවම සීට් එකේ පොර ඉඳගත්තා.
මම දොර වැහුවා. බර්ටි අයිය රේස් කලා.
නැගපු කොල්ල ලොකු කෝල් එකක. මලක් ද කොහෙද.. පොරට ටිකට් ගන්න උවමනාවක් නෑ වගේ. කෝල් එක ඉවර වෙන්නෙත් නෑ.
"මල්ලි කොහාටද?"
"ආ... පොතුපිටියට අයියෙ..."
රුපියල් සීයක්. මිනිහගෙ මූණෙ තිබුණෙ බයවුණ කලබල ගතියක්...
"ආ..."
මම ඉතිරි හතලිහ එක්ක ටිකට් එක මිනිහට දුන්නා... මිනිහ ආයෙ ෆෝන් එක කනේ ගහගත්ත.
බස් එකට සෙනග නැග්ගා. බස් එකෙන් සෙනග බැස්සා. ඉක්මනින්ම අපි පානදුරට කිට්ටු වුණා.
පාලම පහු කරලා තියෙන හෝල්ට් එකේ බස් එක නතර කලා. දෙන්නෙක් බැස්සා.
"වාද්දුව, පොතුපිටිය, වාද්දුව, පොතුපිටිය, කළුතර, කළුතර, කළුතර..."
"අයියෙ මේ..."
ෆුට් බෝඩ් එකේ පොල්ල උඩ ඉදගෙන හිටපු මට පිටිපස්සෙන් කවුද කතා කලා. අර කොල්ල නැගිටල මගෙ කණ ගාවට කිට්ටු වෙලා.
"ඇයි?"
"මේ... අපේ අම්මට ටිකක් අමාරුයි. මම මේ බෙහෙත් අරන් යන්නේ. කටුබැද්දෙ තිබුණේ නෑ එක ජාතියක්. මෙතනින් ගන්නකල් බස් එක ටිකක් නතර කරල තියාගන්න පුළුවන්ද?"
"අයියෝ මල්ලි... දවසම චාටර් වෙලා ගෙදර යන්නෙ කොයි වෙලේද කියල ඉන්නේ..."
මට එහෙම කියවුණේ මිනිස්සු එක එක බොරු කියල අපිව රස්තියාදු කරපු වෙලාවල් ඕන තරම් තිබුණ නිසා.
"ඉක්මනට එනවා... පාරෙ එහා පැත්තෙ ෆාමසියට යන්නේ"
"එහෙම කරන්න බෑ මල්ලි.. ඔයා එහෙනං බැහැල වෙන එකක එන්ඩ.."
"අනේ අයියෙ මේක කොහොම හරි ගෙනියන්න ඕන.. පාර පැනලා ෆාමසියට ගිහින් ටක් ගාල එන්නම්.. විනාඩි දෙකක් යයි."
කොල්ල ඒ පාර ඒක කිව්වෙ නම් ගොඩක් දුකින් කියල මට තේරුණා. ඒත්..
"හරි හරි ඉක්මනට ගිහින් එනවා.. මිනිස්සු ගෙවල්වල යන්න එපැයි..."
කොල්ල බැස්සා.
"ටක් ගාල එන්නම්.."
මිනිහ දුවගෙන ගියා කහ ඉර ගාවට.
"පොඩ්ඩක් ගහල ඉමු.. අර බැහැපු මල්ලි බෙහෙතක් අරගෙන එන්න ගියේ.."
මම බර්ටි අයියට කිව්වා.
"අයියෝ මොනවද බං.."
බර්ටි අයියට ටිකක් විතර මල. මිනිහත් දවසම රවුම කරකවල හෙම්බත් වෙලා ඉන්නේ.
මම කොල්ල ගිය දිහාව බලාගෙන හිටිය. මිනිහ ෆාමසියටම ගිය බව මම දැක්ක. ෆාමසියෙන් බෙහෙත ගන්න මිනිහට විනාඩියක් විතර ගියා...
"මොනවද බං... ෂික්"
බර්ටි අයියට හොඳටම මල.
"පොඩ්ඩක් ඉමු බං..."
මම එහෙම කිව්වෙ කොල්ල එනකල් බස් එක ගහල තියාගන්න එකේ වගකීම මගේ නිසා.
තවත් තප්පර ගානකිං කොල්ල දුවගෙන ඇවිත් හිටපු තැනම ඉඳගත්තා. බස් එක ආයෙත් ඉගිල්ලුනා.
මොල්ලිගොඩ පහු වෙද්දි කොල්ලට ආයෙත් ආව කෝල් එකක්.
"හයියෝ..."
කොල්ල එක පාරම උත්තර දුන්න විධියට ගැස්සුණ මම පිටිපස්ස බැලුව. කොල්ලගෙ ඇස් දෙකේ කඳුළු උනනව මට පෙණුන. ඒක වහගන්න මිනිහ මූණෙ අත් දෙක ගහගත්ත. මිනිහ ඉකි ගහනව.
"ඇයි මොකද මල්ලි?"
මම පස්ස හැරිල ඇහුවෙ එහෙම අහන්න හිතෙන තරමට මම මිනිහගෙ දැන් තත්ත්වෙ දැනගෙන හිටපු හින්ද.
"අම්ම නැති වෙලා අයියේ.."
කොල්ල එහෙම කියාගෙන ආයෙත් ඉකි ගහන්න ගත්ත.
මම උඩ ගියා. එකපාරම මුකුත් හිතාගන්න බැරි වුණා. මුකුත් කියන්නත් බෑ..
"උඹ පොතුපිටියෙ බහිනව නේද මලයා... අවුලක් නැද්ද? තව හෝල්ට් දෙකයි.."
කොල්ල ඔළුව වනල කිව්වෙ අවුලක් නෑ කියල. ඒත් මට අවුලක් දැණෙන්න අරන් තිබුණ. මේ කොල්ල බෙහෙත් ගන්න බැහැල යන්න අහපු වෙලේ ඌ එක්ක වාද නොකර යන්න දුන්න නම් සමහර විට කොල්ලට අම්මව බේරගන්න චාන්ස් එකක් තිබුණ කියල මට හිතුණ. ඒත් මම ම ඒක එහෙම වෙන්න බෑ කියන තැනට හිත හදාගන්න ට්‍රයි කලා. වලක්වන්න බැරි දේ වලක්වන්න බෑ. වෙන්න තියෙන දේ වලක්වන්න බෑ. කරුමෙ කියන්නෙ ඕක තමයි.
කොල්ල පොතුපිටියෙන් බැහැල ගියත් මම ඉඳගෙන හිටපු පොල්ලට පිටිපස්සෙ සීට් එකට ඊට පස්සෙ කවුරුවත් ආවෙ නෑ. කළුතරට ඇවිත් බස් එක බර්ටිලගෙ ගෙදරට දානකල්ම මට දැණුණෙ කොල්ල එතන ඉන්නව වගේ. බර්ටි අයිය කලින්දා ඉතිරි කරපු කොටේ එලියට ගත්තත් ඒක ගැන හිතන්නවත් මට හිතුණෙ නෑ...
මගෙ ඔළුව තෝන්තුයි වගේ. කාලෙකින් නොදැණුන හැඟීමක්.
මම කෙලින්ම ගෙදර ආව...
.........................
මුළු කතාවම අහන ගමන් කාන්ති රංජිගෙ ඔළුව අතගෑව. මේ වගේ සිදුවීමක් නිසා මෙහෙම සංවේදී වෙලාද මේ මනුස්සයා.. බස් කොන්දොස්තර රස්සාව පටන්ගත්තු දා ඉඳන් රංජි තව තව දරුණු වුණා වුණත් එයාට ඉස්සර වගේ තාමත් සංවේදී වෙන්න පුළුවන්කම තියෙන වග කාන්ති තේරුම්ගත්තා. ඒක රංජිත්ටම දරාගන්න දීල කාන්ති නිහඬවම හිටියා.
දීර්ඝ නිහැඩියාවකට පස්සෙ රංජි කතා කළා.
"කාන්ති"
"හ්ම්.."
"අපි මේ සෙනසුරාදා යමුද අම්මව බලන්න..."
මගෙ ඇස් දෙකටත් කඳුලු ආව බන්....
ReplyDeleteවචන නෑ මේක ගැන කියන්න... පට්ටයි...
අපේ ජීවිතේ සමහර දේවල් නැවත කිසිදා යථා තත්වයට පත්කල නොහැකි තත්වයකුත් තියෙනවා...
ReplyDeleteයක්සයො වගේ පේන සරීස ඇතුලෙත් දෙවිවරැ ඉන්නවා.. හරිම සංවේදී සිදුවීමක්.....
ReplyDeleteඅපිට මේකෙන් ෂොක් එකක් දෙන්න පුලුවන්... නමුත් ඒක වියැකියලා යනවා.. හරියට ෂොක් එකක් වගේ.. ඉතින් මේ ෂොක් එක තියන කං අපි සංවේදියි..
ReplyDeleteඋදා:- මේ කථාව කියවපු ගමන්, චිත්‍රපටියක් බලල නැගිටපු ගමන්.
දීගුකාලයක් මේ සංවේදීතාව පවත්වා ගන්න ඊටවඩා මහන්සි වෙන්න වෙනවා..
ජය..
හරිම සංවෙදි කතාවක්..
ReplyDeleteඅපි එදිනෙදා දේවල් එක්ක අත්විඳින දේවල්.. මේ ඇනෝ කියනවා වගේ ඒක නිකං පව් කියලා හිතලා ආයි වෙන වැඩකට යනවා වගේ සීන් එකක්. මේක ඕනි කෙනෙක්ට යන එන ගමන් දකින්න පුළුවන් සුලබ සිද්ධියක් ඒත් අපි ඒකට කොච්චර සංවේදීද කියන එකත් එක්ක පසු සිද්ධි වෙනස් වෙනවා. ඒත් එක දවසකට අපිට වදින ඒ සිද්ධි ඊලඟ දවසේ වදින්නේ නැති වෙන්න පුළුවන්.. ඕවා ඔහොම තමා..
ReplyDeleteමේ කතාවට මගේ හිත ගැස්සුනා.දුක හිතුනා.
ReplyDeleteහරිම සංවේදී කතාවක් . වෙන්න තියන දෙයක් කාටවත් වලක්වන්න බෑ නේ ..මේ කතාව බැලුවම මටනම් මුලින්ම හිතට ආවේ ඒක
ReplyDeleteසුපිරි ලියවිල්ලක් ....
කට්ටියටම ස්තූතියි සද්දයක් දැම්මට :D වැඩත් එක්ක මේ පැත්තෙ එන්න පරක්කු වුණා..
ReplyDeleteහැමෝම මේක හොඳින් වින්දනය කරල (දුකත් විඳීමක් නේ) තියෙනව වගේ ඇනෝ මහත්මය කියනව වගේ අපි ෂොක් වෙන වෙලාවලදි තමයි ජීවිතේ කියන එක දැණෙන්නෙ. අනිත් වෙලාවලට අපි අසංවේදී සරල සාමාන්‍ය මිනිස්සු! එහෙම කියල ඔය ෂොක් එක හැමදාම තියාගන්නත් බෑ. එහෙම වෙනකොට ආයෙත් ඒක ඇතුලෙම ෂොක් එක ෆේල් වෙන නිසා...
සෝ.. ටචින් ස්ටෝරි! :පී!
ReplyDeleteනෑ සිරාවටම..! කතාව නියමයි.. ඇත්තටම අපි ආදරේට කොට කරලා කියන කොන්දලා නපුරු වගේ පෙනුනට ඒ මිනිස්සුත් මිනිස්සුනේ.. බබෙක් වඩාගෙන නඟින අම්මෙක් දැක්ක ගමන් සීට් එකක් දෙන්න කියලා කෑගහන්නෙත් ඒකනේ.. ඕක වාඩිවෙලා ඉන්න අයට තද වෙන කාරණයක් උනාට කොන්දාගේ මනුස්ස කම ඒක..
මේ කතාවත් ඒ වගේ..මුලින් බර බරේ දැම්මට වැඩේ කරලා දුන්නානේ..! අර ඇනෝ කියලා තියන දේ නම් සහතික ඇත්ත..
කතාව පැත්තෙන් ගත්තම මට සංවේදීම තැන අර සෙනසුරාදාට අම්මා බලන්න යන එක..! මොකද අපි ජිවිතේදි පිට අයට වෙන දේවල් අපිට ගනන් ගන්නේ අපේ කෙනෙකුට ආදේශ කරලා නිසා.
මලී - සීන් එක ඒක තමයි. අපිට නොදැණෙන දෙයක් සම්බන්ධව අපි ඒ තරම් සංවේදී නෑනේ...
ReplyDelete