මම ගියේ රාජකාරියකට නිසා එහෙ මෙහෙ ඇවිදින්න අවස්ථාවක් ලැබුණෙ නම් නෑ. ඒ නිසාම සැලකිය යුතු විස්තර සහිතව මේ සටහන ලියාගන්න බැරි වුණත් හිටපු ටිකේදි දැනගන්න ලැබුණු තොරතුරු කියන්නම්.
ඉලුක්පැලැස්සේ පිහිටීම
ඔයාල හපුතල සහ බලංගොඩ අතර තියෙන බෙරගල හන්දියෙ ඉඳන් පහල මිටියාවත දිහා බලල තියෙනවනම් ඒ පේන තෙක් මානයේ තැනක දකුණට වෙන්න තමයි ඉලුක්පැලැස්ස තියෙන්නේ.
ඉලුක්පැලැස්සේ පිහිටීම |
වෙන පාරවල් තියෙන්න පුළුවන් වුණත් ඉලුක්පැලැස්සට ළඟම නගරය බලංගොඩ නිසා කොළඹ ඉඳල එනව නම් බලංගොඩට ඇවිත් කල්තොට පාරෙ කිලෝමීටර් 25ක් (මේ දුර ප්‍රමාණය ගැන මට පැහැදිලි අදහසක් නෑ.) විතර එන්න ඕන. කල්තොටින් (උග්ගල්කල්තොට) මහබැද්ද පාරෙ කිලෝමීටරයක් විතර ගියාම හම්බවෙන ගනේපත්ත හන්දියෙන් වමට කිලෝමීටර් 1.5ක් විතර ගියාම තමයි ඉලුක්පැලැස්ස හම්බවෙන්නේ.
ඒ වුණත් අපි ගියෙ බදුල්ලෙ ඉඳල නිසා බලංගොඩ නගරය හමුවෙන්න කලින් පඹහින්න හන්දියෙන් හැරිල සබරගමුව විශ්ව විද්‍යාලය හමුවෙන සමනල වැව පාරෙ තමයි ගියේ. බලංගොඩට ගිහින් එතනින් හැරිල ගියොත් වැඩිපුර ගෙවන්න වෙන කිලෝමීටර් 25ක විතර දුරක් අපි මේ පාරෙ ගිහින් ඉතිරි කරගත්ත.
මේ ගල් කඳු තට්ටු විධියට කඩල තියෙන්නෙ වැවේ බැම්ම හදන්න. |
සමනල වැව වැව් බැම්ම. මේ ගලන වතුර පාර වැවේ තියෙන කාන්දුවකින් හැදුණ එකක් කියල ආරංචියි... වැවේ පින්තූරයක් ගන්න වුණේ නෑනේ... |
වැව් බැම්ම. මේ පින්තූරෙ ගත්තෙ දැල් වැටක් අස්සෙන්. ඇතුලට ගිහින් අහු වුණොත් දැනුම් දීමකින් තොරව ඩිෂුම් ඩිෂුම්! |
මේ පාර වැටිල තියෙන්නෙ සමනල වැව අසබඩින්. සමනල වැව රක්ෂිතය හරහා තමයි පාර වැටිල තියෙන්නේ. රක්ෂිතයට ඇතුල්වෙන සහ පිටවෙන සීමා වල තියෙන මුර කපොලු දෙකේදි ආරක්ෂකයන් ළඟ තියෙන පොත්වල රියදුරුගෙ සහ වාහනයේ විස්තර ඇතුල් කරන්න වෙනව.
සමනල වැව රක්ෂිතයේ එක් මුර කපොල්ලකදී... දකුණු පැත්තට යන පාර සමනල වැවටත් වමට යන පාර කල්තොට දක්වාත් විහිදෙනවා. |
මුහුදු මට්ටමේ ඉඳන් සාමාන්‍යයෙන් මීටර් 900ක් විතර උඩින් තමයි පිහිටීම. අපි හිටපු දවස් දෙකේදි නම් සැලකිය යුතු රස්නයක් තිබුණා රෑ පුරාම. දවල් ගිණිගහන්න පෑව්වා... හැබැයි එන මග දිගටනම් හොඳ වැස්සක් වැස්සා...
කලින් කිව්ව විධියට ඉලුක්පැලැස්ස තියෙන්නෙ රත්නපුර, මොණරාගල සහ බදුල්ල දිස්ත්‍රික්ක තුන හමුවන සීමාව අසල. භූමියෙ පිහිටීම අනුව පරිපාලනය සිද්ධ වුණේ බදුල්ල නගරය මගින් වුණාට මේ ගමට ආසන්නම ප්‍රධාන නගරය බලංගොඩ නගරයයි.
ඉලුක්පැලැස්ස වටවී ඇති දිස්ත්‍රික් මායිම් |
ජන ජීවිතය
ග්‍රාමසේවක වසමක් විධියට ගත්තම ඉලුක්පැලැස්සෙ ජනගහනය 250-300කට ආසන්න ප්‍රමාණයක්. ප්‍රධාන ජීවනෝපාය වී ගොවිතැනයි. ඊට අමතරව දෙහි සහ පොල් වගාවත් මේ පලාතෙ ජීවනෝපායවල්. ඒ වගේම හල්දුම්මුල්ල කැලයේ නෙල්ලි සහ ගල් සියඹලා කඩා විකිණීමත් ඇතැම් අය කරන දෙයක්. නමුත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දැන් කැලේ කරන ඒ වැඩ වලට තහංචි දාගෙනයි යන්නෙ. මොකද ගෙඩි කඩන්න ඕන නිසා ගස්වල අතුත් මිනිස්සු කපා දමන හින්දා. කොහොම වුණත් මේ ප්‍රදේශයට ඇතුල් වෙද්දිම තියෙන විශාල කුඹුරු යායවල් නිසා වී ගොවිතැන ගොඩක් දෙනෙක් රක්ෂා කරන ආදායම් මාර්ගය කියල හිතෙනව. කලාතුරකින් කෙනෙක් දෙන්නෙක් හේනක් වගාකරන්නත් පුළුවන් කියල මේ ගැන විස්තර කරපු ගමේ ග්‍රාමසේවක මහත්තය කිව්ව.
මේක මේ... කුඹුරක් හොඳේ... |
කැලේ සතුන් දඩයමෙන් තවත් සමහරු ජීවත් වෙනවා. මී මින්නා, ඉත්තෑවා, කබල්ලෑවා, මුවා, ගෝනා, හාවා වගේ සත්තු දඩයම් කරල දඩමස් වලට විකුණල කරන ඒ වැඩෙත් දැන් දැන් නතර වීගෙන එන්නෙ තහංචි වලටත් වඩා සත්තු හිඟවීම හින්දලු.
ගේට්ටු මුත්තෙක් |
ඉලුක්පැලැස්සට ආසන්නම ප්‍රධාන නගරය බලංගොඩ වුණත් කල්තොට කියන්නෙත් පුංචි නගරයක්. මිනිස්සුන්ගෙ සාමාන්‍ය අවශ්‍යතා ඉටුකරගන්න කල්තොට නගරයේ පහසුකම් තියෙනවා. ඉලුක්පැලැස්ස විද්‍යාලය කියන තනි ගොඩනැගිල්ලක් සහිත පුංචි ඉස්කෝලයකුත් ගමේ තියෙනවා. 1 වසරෙ ඉඳන් 5 වසර දක්වා වයස් වල ළමයි 15 දෙනෙක් විතර ඒ පාසලේ ඉගෙනගන්නවා. විදුහල්පතිතුමාගෙ නිවස තියෙන්නෙත් යාබදවමයි.
ජල පහසුකම් ගත්තොත් උල්පත් වලින් ලැබෙන ජලය බෙදාහැරීමේ වැඩපිළිවෙලක් ක්රියාත්මන වෙනවා. ඒ වගේම විදුලිය පහසුකමත් ගමේ ගොඩක් දෙනෙක්ට ළඟදි ලැබිල තියෙනවා. ඉලුක්පැලැස්ස පාසලේ විදුහල්පතිතුමා කිව්ව විධියට කඳු පන්ති දෙකකින් ආවරණය වෙලා තියෙන නිසා රූපවාහිනී නාලිකානම් හරියට පේන්නෙ නැහැලු.
සත්තු
අර දඩයම් කරනවාය කියපු සත්තුන්ට අමතරව මේ පැත්තෙ සැලකිය යුතු අලි ගහනයක් ඉන්නවලු. මිනිස්සුන්ටත් කරදර වෙන වෙලාවල් තියෙනව කියල කිව්වත් දැන් දැන් මිනිස් ගහනය වැඩි වෙලා නිසා අලි බහුතරයක් කැලේ ඇතුලට ගිහින්ලු. ඒ වගේම සර්පයො සෑහෙන්න ඉන්නව කියලත් කිව්වා. ඒ එක්කම මොණරු නම් සෑහෙන්න ඉන්නවා කියල අපට තේරුණා. මොකද මොණරුන්ගෙ කෑ ගැසීම දවස පුරාම අපට ඇහුන නිසා. මුළු රෑ පුරාම අපට නින්දක් නොවුණෙ මදුරුවන්ටත් අමතරව මේ මොණරු නිසා. අපේ ගෙවල් පැත්තෙ බල්ලො උඩුබුරනව වගේ මේ මොණරුත් එක්කෙනෙක් කෑ ගහපුවම පෝලිමේ ගම වටෙන්ම කෑ ගහනව. එක වටයක් නවතින්න විනාඩියක් විතර යනව. ආයෙත් ටිකකින් එක්කෙනෙක් පටන්ගන්නව.
වතුර
මධ්‍යම කඳුකරයෙ ඉඳන් හල්දුම්මුල්ල, ඉදල්ගස්හින්න වගේ ජලපෝෂක ප්‍රදේශ හරහා රටේ පහලට ගලන වතුර පාරවල් මේ ප්‍රදේශය පුරාම තියෙනවා. අපි නවාතැන් ගත්තු ස්ථානයට නුදුරින් ගලන පුංචි දොල පාරෙ එක තැනක අරටුව ඉවත් කරපු ගහක කඳක් හයි කරල හදපු පීල්ලක් තිබණා. කට්ටියම කාලෙකට පස්සෙ නිදහසේ ගලන ස්වභාවික වතුරින් නාගත්තා. ඒ වගේම ජල පහර හරහා තියෙන ගල් වලින් ඒ දිය පාර පුරාම නාන්න පුළුවන් වතුර වලවල් ඕන තරම් හැදිල තියෙනව කියල ගමේ කෙනෙක් කිව්වා. වතුර ගලන්නෙ හුණුගල් ස්ථර උඩින්. ඒ නිසාම වතුරෙ කිවුල් ගතියක් තිබුණා. නමුත් අපට පානය කරන්න ලැබුණෙ වෙනමම උල්පතකින් ලබාගත්තු වතුර තමයි.
අපි නාපු පීල්ල. ගමේ සෙට් එකම මෙතනට එනවද කොහෙද |
මේක අර පීල්ලට සමාන්තරව බෙදිල යන වතුර අත්තකින් හැදුණ වලක්. අඩි 4ක් විතර වතුර ගැඹුරුයි. |
ගල් සහ කුඹුක් මුල් නිසා ජල පහර හැම තැනම විසිරෙමින් තමයි ගලන්නේ |
ජලය ගලන ස්ථානවල වැවෙන කුඹුක් ගස් විශාල ප්‍රමාණයක් අපි දැක්කා. ඒ එක්කම මේ කලාපය මායිම් වෙන හල්දුම්මුල්ල රක්ෂිතය ඝර්ම කලාපීය රටවල තියෙන සැවනා වනාන්තරයක ලක්ෂණ පෙන්නුම් කරන නිසා ඒක ගොඩක් වැදගත් වගේම ආරක්ෂා කරන්න පියවර අරන් තියෙන බව අපිත් එක්ක හිටපු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙ මිතුරෙක් කිව්වා. කොහොමත් අපි ආපු මග දිගේම තිබුණෙ ඝන වනාන්තරයක්. එක පැත්තකින් ඒ කැලයම උඩවලව රක්ෂිතයට මායිම් වෙනව කියල අපට ආරංචි වුණා.
යන පාර දෙපැත්තෙම කැලෑව... මේ කැලෑව මැද දිව්‍ය ලෝකෙ යන්න බෝට්ටු හදනවලු.. :P |
කුඹුක් ගහක්! |
උරුමය
ප්‍රදේශය පුරාම විහාරස්ථාන රාශියක් තියෙන බවත් ගමේ කෙනෙක් කිව්වා. ඒ වගේම මේ පුදේශය පුරාම වස්තුව නිදන් කරල තියෙනව කියල කීප දෙනෙක්ම කිව්වා. ඒව ගොඩදාන්න ගිය අය ගැනත් ඒව අල්ලපු විධි ගැනත් රසවත් කතා කීපයක්ම අහන්න ලැබුණා. ගොඩක් නිදන් වලට වෙලා තියෙන්නෙ අර "වැටත් නියරත් ගොයම් කා නම්..." වගේ වැඩක් කියලත් දැනගත්තා.
දූවිලි ඇල්ල මේ පින්තූරෙ නම් ගත්තෙ මෙතනින් |
ලංකාවෙ සුන්දරම දිය ඇල්ලක් වෙන දූවිලි ඇල්ල තියෙන්නෙත් මේ ප්‍රදේශය ආසන්නයේ. ඒ ගැන සටහන් කීපයක්ම කරුණු සෙවීමේදී මට හම්බ වුණා. දිය ඇල්ල බලන්න යන්න අපට අවස්ථාවක් තිබුණෙ නැතත් ඒ ගැනත් දැනගත්ත එක මට ගොඩක් වටින දෙයක් වුණා. අපි එද්දි පහු කරපු සමනල වැව ජලාශයෙන් පිටවෙන වතුර පාර ක්‍රමයෙන් වලවේ ගඟ බවට පත් වෙනවා. වලවේ ගඟ කල්තොට ආශ්රයෙන් ගමන්කරන තැනකදි තමයි දූවිලි ඇල්ල නිර්මාණය වෙලා තියෙන්නේ. අවසානයේ වළවේ ගඟ උඩවලව ජලාශය දක්වා දිවෙනවා.
ආයෙමත්...
අපේ රාජකාරි කටයුත්ත අවසන් වුණාට පස්සෙ අපි ආයෙත් එන්න ආවා. ඒක අපේ කණ්ඩායමේ ගොඩක් දෙනෙක්ට ජීවිතේ තවත් අත්දැකීමක් වුණා. මම ඉතිං ඒ දේවල් බෙදාගැනීමේ උවමනාවෙන් පෙලෙන නිසා ලැබුණු හැම අවස්ථාවකදිම වටපිටාව ඡායාරූපගත කරන්න උත්සාහ කලා. ඒ වුණත් මම ගියෙ රාජකාරියකට නිසා මගේ මූලික අවධානය තිබුණෙ එතන. ඒක නිසාම මේ සටහන සම්පූර්ණ චාරිකා සටහනක් නොවෙනවා වගේම ඉලුක්පැලැස්ස ගැන සම්පූර්ණ චිත්‍රයක් හදාගන්නත් මේ තොරතුරු පුමාණවත් මදි. මොනව වුණත් ඉලුක්පැලැස්ස ගැන මේ සටහන ලිවීමේදී මම ගොඩක් දේවල් අළුතින් ඉගෙන ගත්තා. සමහර විට මේ වගේ සටහන් ලිවීමේදී ඒ ලැබෙන දැනුම චාරිකාවේ අතුරු ඵලයක්.
කොහොම වුණත් අපි ගිය රාජකාරිය අතිශය සාර්ථකව අවසන් කරන්න පුළුවන් වුණා වගේම අපි පැය 3½ක ගමනකින් ආයෙ බදුල්ලට ආවා. බොහොම රසවත් සිදුවීම් එක්ක රාජකාරි සහ නොවෙන අළුත් දැනුමක් එකතු කරගන්න මේ රාජකාරිමය සවාරිය ඉවහල් වුණා. ඒකාකාරීව ගෙවෙන ජීවිතේ තවත් එක වෙනසක් එක්ක ඉලුක්පැලැස්ස ගමන නිමා වුණා.
පින්තූර සෙට් එකම බලන්න.
ඉලුක්පැලැස්ස ගැන සෙවීමේදී හමු වුණ වැදගත් වෙනත් සටහන් කීපයක්...
Excellent post !
ReplyDeleteරසවත් ලිපියක්.
ReplyDeleteගමේ ජන ජීවිතය ගැන රූප ටිකකුත් දැම්මනං සම්පූර්ණයි වගේ..
වටිනා ලිපියක් යාළුවා.. ඇත්තමයි... මම අදමයි මෙ පැත්ත ගැන දැනගත්තෙ...
ReplyDeleteI read few of your posts after reading this. Noticed your writing style is different at each post. Excellent!
ReplyDeleteසමීර - ඉස්තූතියි..
ReplyDeleteප්‍රසන්න - ඒක තමයි. එහෙම ලියන්න පුළුවන් වුණානම් හොඳයි. ඒත් ඉතිං ගමන ගියෙ වෙනත් කාරණයකට නිසා ඇවිදල කරල බලන්න අවස්ාවක් ලැබුණෙ නෑ...
දිනේෂ් - ඇත්තටම මමත් මේ රාජකාරිය වෙනුවෙන කැඳවීමක් ලැබෙනකල් මේ පැත්ත ගැන අහලවත් තිබුණෙ නෑ.
රජි - හෙ හේ.. ඉස්තූතියි! ඒක ඉතිං මම කරන පොඩි පරීක්සනයක් වගේ එකක්... ලිවීම කියන එකේ එක එක පැති වලට යන්න තියෙන කෑදරකම තමයි ඉතිං :D
ප්‍රසන්න කිව්වා වගේ මාත් කැමතියි අඩුම ගානේ ගමේ මිනිස්සුන්ගේ/ ඒ මිනිස්සුන්ගේ ගෙවල් වල එහෙම පිංතූර ටිකකුත් තිබුනා නම්.. ඒත් ඉතිං නැති අඩුව ගැන අමතක කරලා කතා කොලොත් මේ ලිපියයි ලියලා තියන විදියයි.. හැමදේම හරිම අපූරුයි.. ඒ වගේම විස්තරාත්මකයි. ඒක නියමයි!
ReplyDeleteමලී - කරන්න ගිය වැඩේ අස්සෙ තව ගෙවල්වලත් රිංගපියකෝ... :D
ReplyDeleteහරිම අපුරුයි.. එතනට ගියා වගේ රස වින්දා.
ReplyDeleteලංකා - නියමයි... එහෙම දැණුනනම් වැඩේ සාර්ථකයි!
ReplyDelete