මම බයිසිකලය පැදගෙන ගෙදර එන්න ආවෙ ටිකක් කලින්! ටවුමට ගිහින් කරගන්න තිබුණ වැඩේ ඉක්මනට ඉවර කරගන්න පුළුවන් වුණේ මාව ටිකක් දන්න ඇමතිගෙ පොරක් මගෙ හොඳ වෙලාවට ඉඩම් කාර්යාලෙට ඇවිත් හිටපු හින්දයි.
නැත්තං ඔය ඔෆිස් එකෙන් වැඩක් කරගන්න යන එක නං දෙපාරක් හිතන්න ඕන වැඩක්!
ගෙට එන්න තියෙන තාර පාරෙ අයිනක අපේ ගමේ මාළු විකුණන මාළු කාරය බයිසිකලේ නවත්තගෙන කපුටො පිරිවරාගෙන මිසිස් පෙරේරට මාළු කපල දෙනව... ගමේ අනිවාර්ය මාළු ගැණුම්කාරයො කීප දෙනෙක් මේ මාළු කාරයට හිටිය... උදේම හම්බන්තොටින් වෑන් වල එන මාළු කිලෝ දහයක් පහලොවක් බයිසිකලේ ලී පෙට්ටියෙ දාගෙන මිනිහ දෙවෙනි රවුම පෑගුවෙ අපේ ගමට... කොහොමත් තියෙන මාළු වලින් බාගෙකට වැඩිය හැමදාම අපේ ගමේ කට්ටිය ගත්තු නිසා මනුස්සයගෙ කෑ ගැහිල්ල උදේ 10 විතර වෙද්දි දැන් ගමට පුරුදු සද්දයක්!
ඉස්සර ටිකක් පුංචි කාලෙ නං මාළුව කපන විධිය අපි බලං හිටියට දැන් ඒවට වෙලාවක් නෑ අපට...
මම මාළු කාරයට හිනාවක් දාගෙන එතනින් බයිසිකලේ පැදන් ආවා...
"ඒ පැත්තට එනව මහත්තයා..."
මිනිහ මගෙ දිහා බලල උඩු රැවුල අස්සෙන් කහට දත් එක්ක හිනා වුණා...
කැපිල අයින් වෙන කොර පොතු, බඩවැල්, කරමල වලට වහ වැටිල මිනිහ පස්සෙන් ගම වටේ පියාඹන කපුටො රංචුව මගේ ගමන නිසා පාරෙන් ඉවතට පියෑඹුවා...
.......................
ගෙදර ගිහින් ෂර්ට් එක ගලවන අතරෙ මට පාර පැත්තෙන් මාළු කාරයගේ සද්දෙ ඇහුණා...
"මාලො... මාලෝ...."
ඒක කියන්නෙ මිනිහගෙම තාලෙකට... අයිස්ක්‍රීම් වාහනේ නලා සද්දෙ වගේ ඒ හඬ මිනිහටම තිබුණ හඬක් වුණා... සමහර විට ගමේ ගෑණු ඔය සද්දෙ නිසාත් මාළු ගන්න හිතන්න ඇති...
ඒ සද්දෙ හොඳට අඳුරණ ගෙදර පූස පාරට දිව්ව. අපෙ ආච්චිත් නෑඹිලියක් අරන් පාරට දුවනවා මම දැක්ක... හැමදාම වගේ ආච්චි තමයි ගෙදරට මාළු අරගන්නේ... එයා ඔය මාළු කාරයගෙ යාවජීව කස්ටමර් කෙනෙක්!
මමත් එයා පස්සෙන් එළියට ගියා... දොර ගාවට!
මාළු කාරය ගේ ඉස්සරහ බයිසිකලේ නතර කලා... කපුටො රංචුව අවට ගස් වල වැහුව....
මාළු කාරය අපේ ආච්චි ගත්තු මාළු කූරි දෙන්නව කපන්න ගත්තා... කොරපොතු සුද්ද වෙලා වරල්, වලිග කෑලි කැපිල මාළුවගෙ තොල් දෙකයි කරමල කෑලියි ගැලවිල පැත්තකට විසි වුණා... පූස ඒවට කිට්ටු වුණා...
මාළුවගෙ බඩ කපල බඩවැල් එක්ක අතුණු බහන් සේරම ටික පාරෙන් එහාපැත්තට විසි කලා.. කපුටො රංචුව ඔන්න ඒකට එකතු වුණා... උන්ගෙ ගෝරනාඩුව එක්ක උන් තම තමන්ගෙ කොටස් වෙනුවෙන් දඟලන්න ගත්තා...
උන්ට කොච්චර තිබුණත් මදි! මල පෙරේතයෝ...
සේරම ටික ඉවර වෙනකල් උන්ගෙ ගෝසාව තිබුණා...
අත් දෙක සරමෙ පිහිදල සල්ලි අරගත්තු මාළු කාරය බයිසිකලේ නැගල යන්න ගියා...
කපුටො රංචුවත් ඒ පස්සෙන් පියෑඹුවා...
මේ සිදුවීම මමත් දැකලා තියෙනවා. ඒත් ඔයා ලිව්වට පස්සෙ තමා මේකෙ විශේෂත්වය දැක්කෙ.
ReplyDeleteඔයා ලියපු විදිහ මට නම් නිශ්ශංක විජේමාන්නගේ කෙටිකතාවක් තරම්ම රසවත්.
නියමයි.
අතීතය මතක් උනා….
ReplyDeleteඅද තමා මේ පැත්තට ආවෙ… ලිපි ඔක්කොම කියවන්න හිතුන. ඒක නෙමෙයි බොල… තාම ඔය බයිසිකලේ මාලු පෙට්ටිය අරන් මාලු කාරය එනවද ?????
ඉස්සරහට මේ වගේ දේවල් පොත් වලින් තමයි කියවන්න වෙන්නෙ…
ReplyDeleteඅපේ ගෙවල් පැත්තටත් ඉස්සර මාලු මාම කෙනෙක් ආවා.. දැන් ??
ආයිබෝවංඩ අප්පුහාමී. කාලෙකින් ලියලා තියෙන්නෙ, නියමෙට. කිසිම විශේෂත්වයක් නැති එදිනෙදා සිදුවීමක්, ලියලා තියන විදිහ අපූරුයි. අර “ගෙම්බා චරස්” එකත් කියෙව්වා.
ReplyDeletefood for thought
ඇයි මේක ලිව්වේ කියන්න නම් මම දන්නේ නෑ.. හැබැයි අර මාළු කපන වැඩේ බලන් ඉන්න නම් මාත් ආසයි.. තාමත් වෙලාවක් හම්බ උනාම බලන් ඉන්නවා.. ඒ අත්දැකීමෙන් තමයි දැන් ගෙදරට මාළු කූරි ගෙනාවම ඒවා කපන වැඩෙත් මම ම බාර ගන්නේ..
ReplyDeleteකිසියම් සුවිශේශ බවක් නොතිබුනාට එකෙන් මොනව හරි දෙයක් කියන්න උත්සහා කල නම් මට එක වැටහුනේ නැ…
ReplyDeleteමට දැනුනේ මේක සාමාන්‍ය සිදුවීමක් කියලා නමුත් යටි අරුතක් හොයන්න මම වෙහෙසුනා….
හැබැයි මම නම් මාළු කපන්න දකින ආසත් නැ
මාළු අල්ලන්න ආසත් නැ……..
මොකක් උනත් සහෝ ලස්සනට ලියලා තියෙනව සරලවම
මට නන් එච්චර ඇල්ලුවේ නෑ අයියේ මේක. මගේ දැනීමේ හැටිනේ ඉතින්!
ReplyDeleteකට්ටියටම තැංකූ අදහස් වලට… මම ඉතිං අවේලාවෙ කරක්ගහන මනුස්සය නිසා කලින් මේ පැත්තෙ නාව එකට සමාව!
ReplyDeleteමේක සිම්පල් කතාවක් තමයි… ඒත් මෙහෙම මාළුකාරයො සහ ඒ පස්සෙ යන කපුටො අපට දකින්න ඕනතරම් අවස්ථා සමාජයෙ තියෙනව නේද?
අපේ ගමට නං මාළුකාරයො එන්නෙ බයිසිකලේ තමයි… ඉස්සනම් ගෙනාවෙ වැව් මාළු… තාමත් ඉඳල හිටල එහෙම ගේනවා.. ඒ වුණාට දැන් වැඩිපුරම එන්නෙ අර කිව්ව වගේ හම්බන්තොට පැත්තෙන් වෑන් වල එන මාළු ගේන අය තමයි…