Sunday, 1 March 2009

ශ්‍රී ලංකාවේ අභිමානය

මේ කියන්න යන දේ මම කලක් තිස්සේ නිරීක්ෂණය කරපු දෙයක්. අද කියල දාන්න හිතුණා.

කාලෙකට පස්සේ ශ්‍රී ලංකාවේ අභිමානය ඔස්සේ විකාශනය වුණ සිංහල චිත්‍රපටියක් බලන්න ලැබුණා. නම කස්තුරි සුවඳ. විකාශනය වුණේ ඊයෙ හෙවත් සෙනසුරාදා දවල්. මේක ජනප්‍රිය සින්දු තියෙන ගාමිණී මාලනී රඟපාන ලස්සන චිත්‍රපටියක්. ෆ්‍රෙඩී සහ බන්දු දෙන්නත් විකටයන් විධියට රඟපානවා. ඒ වුණාට මට ඒ දෙන්නගෙ විකට වැඩ වලට වඩා හිනා ගියා වෙනත් දෙයක් නිසා.

‍මේ චිත්‍රපටියෙ අවස්ථා කීපයක්ම තියෙනවා ප්‍රධාන සහ සෙසු නළුවන් දුම් පානය කරන. දුම් වැටිය අතේ තියාගෙන ඉන්න දර්ශනය හොඳට පෙන්නලා ඒක උරද්දි කොටු දානවා. ඒ කියන්නේ දුම් වැටි නරක වෙන්නෙ උරන්න විතරයි නිසා වෙන්න ඇති. මොකද පත්තු වෙන දුම් වැටියක අතේ තියාගෙන හිටිය කියල මුකුත් වෙන්නෙ නෑනේ නේද?

මම දුම් පා‍නයේ ආදිනව ගැන හෝ ඒකෙ හොඳ නරක ගැන කියන්න යන්නෙ නෑ. කවුරුවත් ඒ ගැන කතා කරන්නත් එපා. ඒක නෙවෙයි මට කියන්න ඕන. මේ කරන දෙපැත්තටම නැති පොන්න වැඩ ගැන. එක්කො පෙන්නන්න ඕන නැත්නම් කපලම දාන්න ඕන.

මේ අය මේ වාරණය දාන්නෙ පුංචි ළමයි බලන නිසානේ. ඒ වුණාට මේකෙන් වෙන්නෙ පුංචි එකෙක්ගෙ කුතුහලය තවත් ඇවිස්සෙන එකයි. ඇයි අච්චර හොඳට තිබුණ රූපරාමුවට කොටු දාන හේතුව හොඳ සෞඛ්‍යයෙන් ඉන්න ඕන පුංචි එකෙක් විමසනවනේ.

මේක අපි කතා කරල වැඩක් නැති තවත් එක මාතෘකාවක් විතරයි. මොකද ලංකාවෙ මාධ්‍ය සංස්කෘතිය ගැන කතා කරල වැඩක් නැති නිසා. එක්කෝ මේ වගේ චිත්‍රපටි නොපෙන්වා ඉන්න ඕන. නැත්නම් ඒව වැඩිහිටියන්ට විතරක් බලන්න පුළුවන් වෙලාවලට පෙන්වන්න ඕන.

එහෙම වුණොත් දිවා කාලයේ මේ නාලිකා වලට විකාශනය කරන්න දෙයක් නැති වෙනව. නැත්නම් ඒ වෙලාවෙත් කච පච වැඩසටහන් බලන්න වෙනව.

මම වැඩිය රූපවාහිනී නොබලන නිසා මට එයාල මොනව පෙන්නුවත් කමක් නෑ. නමුත් රටේ ඉන්න අනිත් මිනිස්සු සහ ළමයි හරක් කියල හිතාගෙන කරන වැඩ දකිද්දි පොඩ්ඩක් නලියනව.

මම දන්නව මම නලියල වැඩක් නෑ කියල. මමත් ඇතුළුව අපි සේරම ගතින් හරක් නොවුණට දිවා රෑ නොබලා රටේ සුළුතරයක් සල්ලිකාරයන්ට බර අදින හරක් තමයි.

ඇත්තටම හරක් අපට වඩා උසස්. අඩුගානෙ උන් දන්නෙ නෑ උන් හරක් කියල.

2 comments:

  1. වචන පාවිච්චිය ගැන නම් මගේ එච්චර කැමැත්තක් නෑ.
    ඒත් කතාව ඇත්ත. ඔය අභිමානයේ නාලිකාවෙ තව ගොන් පාට් වැඩක් මම කලින් කියලා තියෙනවා. ඒ වැඩ ඔය නාලිකාවට විතරක් ආවේනික දේවල් නෙවෙයි.
    දැන් ඔය රූපවාහිනියේ ඔවා කැපුවට තඩියට ගහලා තියෙන බැනර්, බාර් වල තියෙන දැන්වීම්, ඒ තියා ඔය දර්ශන කපන වෙලාවට යටින් යන සෝඩා දැන්වීම් ගැන නම් කියලා වැඩක් නෑ.
    ඔය වාරණය ගැනනම් මම හිතන්නේ රජය නිකන් බාරයක් ඔප්පු කරනවා වගේ කරපු වැඩක්.

    ReplyDelete
  2. හික් හික් අනේ අපේ ආණ්ඩුයි මාධ්‍යයි. ඔවා ගැන කථා කරලා වැඩක් නෑ.. බාල හිංදි ටෙලි නාට්‍ය ගෙනත් පෙන්නන එක අඩු කරන්න බද්දක් පැනෙව්වා මොකද දන්නවද දැන් වෙලා තියෙන්නේ? දෙයියනේ කියලා වැඩිම සිංහල ටෙලි නාට්‍ය පෙන්නපු නාලිකාවකත් දැන් ඉංදියන් නාට්‍ය පෙන්නනවා
    රාජ්‍ය මාධ්‍යත් දැන් මෙගා නාට්‍ය වලට ගිහිං.. මුළ අග බලද්දි මුල මතක නෑ..
    දැන් ඔය කොටු කොටු ගැන කියද්දි මං දවසක් දැක්කා බ්ලොග් ලිපියක් සටන් ජවනිකා පෙන්නන එකත් සීමා කරලා කියලා...
    තව ටික කාලෙකින් කොටු විතරක් තියෙන්නත් ඉඩ තියෙනවා ඔහොම ගිහිං හික් හික්

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!