Thursday, 1 January 2009

දුප්පතුන්ගේ නව වසර

මම කල්පනා කරමින් හිටියා ලබපු අවුරුද්ද විශේෂ වෙන්නෙ කොහොමද කියලා. සමහර විට මේ කියන දේ අතිශය නිවැරදි නොවෙන්න පුළුවන්. ඒ වුණාට මට හිතෙනවා මෙහෙම.

නුගේගොඩ හන්දියෙ සහ බෝ ගහ අවට පදික වේදිකාවෙ ඉන්න යාචක පිරිස් අතර ඉන්න පුංචි ළමයෙක් මම දැක්කා. එයාට කිසි ගානක් නෑ. අදත් එයාගෙ මූණෙ තිබුණෙ හැමදාම තියෙන හැඟීම් විරහිත ගල් හැඟීමමයි. අළුත් ඇඳුම් සුවඳ විලවුන් අළුත් විලාසිතා එක්ක පාරෙ යන එන සෙනග අතර මේ නිසල කොළු පැටියා එයාගෙ කල්පනාවක හිටියා. එයාට අළුත් බලාපොරොත්තු තියෙනවද මන්දා. අළුත් ඇඳුමක් නම් තිබුණෙ නෑ. ඒ වුණාට අපේක්ෂා විරහිත එක් මොහොතක සැනසිල්ල මේ දරුව ගාව තිබුණ බව මම දැක්කා. එයා හිටියෙ
වාහන යන එන පාරෙ අද්දරම දූවිලිත් එක්ක. එයාගෙ අම්ම තවත් පුංචි බබෙක්ව තුරුළු කරන් ටිකක් එහායින් හිටිය. මේ දරුවට ඒ ගැන වගක්වත්, වෙන කිසිම දෙයක් ගැන ගානක්වත් තිබුණෙ නෑ.

මම ‍අද වෙනද වෙලාවටම නැගිටල වැඩට යනකොට එහෙ කට්ටිය සුපුරුදු ලෙසම පිරිත් ශ්‍රවණය කරල පිරිත් නූල් හෙමත් බැඳගෙන හිටිය. අවුරුදු ගාණක්ම එයාල ඒක කරනව වුණාට එහෙමට කියල සෙතක් නම් වෙලා නෑ. ඒ කිසි දෙයක් නොකරන මට තරම්වත්. කොහොම වුණත් හොඳ කිරිබත් කෑල්ලක් සහ කැවිලි කීපයක් එක්ක උදේ කෑම ෂේප් කරල දාන්න පුළුවන් වුණා.

මන් දන්නෙ නෑ අළුත් අවුරුද්දක් කියල කට්ටිය ගොඩනගාගන්න බලාපොරොත්තු ඉටු කරගන්න කොයි තරම් කට්ටිය කැප වෙනවද කියල. අළුත් අවුරුද්ද අළුත් ඇඳුම් ආයිත්තම් සහ වෙනත් විවිධ දේවල් වලින් සැරසිල නොයෙක් දේවල් අළුත් කරගෙන පටන්ගත්තත් හැමදාම මම දකිනව ජනවාරි දෙක තුන වෙද්දි හැමෝම ආයෙත් පරණ ටිකම කරමින් ඉන්නව. ඒක හැම අවුරුද්දෙම වුණා. ඉදිරියටත් වෙනසක් වෙන එකක් නෑ. සරලවම කිව්වොත් අළුත් අවුරුද්ද සැමරීම කියන එකත් දැන් පුරුද්දට ගිය චාරිත්‍රයක් වගේ එකක් නිසා ඒකෙදි ඇති කරගන්න අළුත් පැතුම්, සිතුම් සේරමත් එදාට විතරක් ‍තියෙන දේවල් බවට පත් වෙලාද?

මිනිස්සු වෙනස් වෙන්න කැමති නෑ. ඒක ස්වභාවයක්. තමන් පාරම්පරිකව කාලාන්තරයක් කරන දේවල් වෙනස් කරන්න බැරි නිසා මිනිස්සු එක එක කතා කියනව ඒක වහගන්න. හැබැයි අළුත් අවුරුද්දට නම් අළුත් වෙනව කියනව. ඒ වුණාට වෙනසක් නෑ. වෙනස් වෙනවාය කියල කියන එක අළුත් අවුරුදු චාරිත්‍රයක් වෙලා නිසා අවුරුද්දේ උණුසුම් ගියාම ඒක මතක නෑ. ආයෙත් පරණ තැටියමයි.

මම හිතන්නෙ ඒ අතින් අපි හැමෝම දුප්පත්. දැනට ගෙවන ජීවිතේ අප්සෙට් නම්, ඒක වෙනස් කරගන්න ඕන නම් ඒකට අවුරුද්දක් ඕන නෑ. අළුත් වෙන්න අවුරුද්දු එනකල් ඉන්න ඕන නෑ. නමුත් අපි වෙනස් වෙනවාය කියල කියන්නෙ අවුරුද්දට.

නමුත් වෙනස් වෙන පාටක් නෑ.

3 comments:

  1. හ්ම් දවස් උදා වුනා ගෙවුනා කියලා ජිවිතේ වෙනස් වෙන්නේ නෑ.. ඒක කර ගන්න ඕනි අපි හිතලා ක්‍රියාකාරී වෙලාමයි...!

    ReplyDelete
  2. හරියටම අළුත් අවුරුද්ද පටන් ගන්නෙ ජනවාරි 01 ම ද? ඒක මැයි 16 හරි මාර්තු 02 වගේ දිනයක් වෙන්න බැරිද? අවුරුද්ද කියන්නෙ නිකම් ආරම්භක ලක්‍ෂයක් නැති වෘත්තයක් වගේ නොවෙද?....... විකාර...... (මට ද මන්ද)

    ReplyDelete
  3. kathaawa aththa.........maath me kammalikama atha arala wadata bahinna kiyala enne......koheda itin baalagiri doshey ne.hehe!

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!