Sunday, 21 December 2008

ආලවක නරක නෑ තමයි ලතී

බය වෙන්න එපා.

මේ කියන්නෙ ආලවක ගැ‍න නෙවෙයි. වසන්ත දුක්ගන්නාරාල මහත්තයගෙ ආලවක නරක නෑ කෙටි කතා පොත ගැනයි.

ඒකෙ ඉතිං බය වෙන්න දෙයක් තියෙනවයැ. මූට පිස්සු

ඔයාල හිතයි

මට පිස්සු කියල හිතන්න එපා. එහෙම හිතන්න ඔයාලට තියෙන අයිතියටත් මම මුකුත් කියන්නෙ නෑ. ඒ වුණාට පොතේ වටින දෙයක් තියෙන නිසා ලියන්න හිතුණ.

මේ පොත මම මා සතු කරගන්න දැඩි තෘෂ්ණාවෙන් පෙලෙමින් හිටපු පොතක්. සාමාන්‍යයෙන් තෘෂ්ණාව තියාගන්න එක හොඳ නෑ තමයි. ඒ වුණාට ඉතිං මගේ ඒ අහිංසක තෘෂ්ණාවෙන් කාටවත් හානියක්වත් කරදරයක්වත් වුණේ නෑ. ඒ තියා මටවත් මුකුත් වුණේ නෑ. ඒක නිකං ඔහේ තිබුණ.

කොහොම හරි මේ පොත තිබ්බෙ එයාගේ අයිතියත් මගේ කරගැනීමේ සාම්ප්‍රදායික තෘෂ්ණාවෙන් මාව වෙලන ලතීගෙ ගෙදර. ලතී පොත අරන් තිබුණ. මට කලින්. ඉතිං ලතී මගේ වෙන එක අහන්නත් දෙයක්ද? මගේ කරගන්න පෙරුම් පුරල වත් ඒ වෙනුවෙන් පතාගෙන ගොතාගෙන ඔතාගෙන ඇවිත් නෑ කියලවත් එයා ම‍ගේ නොවී ඉඳියිද? එයාගෙ සිතිවිලි මගේ වගේ නොවී තියෙයිද? එයා ඉන්නෙ, හුස්ම ගන්නෙ, දත් මදින්නෙ, හිනා වෙන්නෙ, හිතන්නෙ, කියවන්නෙ මම වගේ නෙවෙයිද? එයා ආස කරන්නෙ මම ආස කරන දේවල් වලට නෙවෙයිද? එයා සල්ලි දීල අරන් රාක්ක පුරා පුරවල තිබ්බෙ මගේ අහිංසක තෘෂ්ණාවන් තුල රැඳිල තියෙන ආශාවේ වස්තු නෙවෙයිද? ඉතිං එයා මගේ නෙවෙයි කියල හිතන්නවත් පුළුවන්ද?

ඇත්තම කිව්වොත් එයා මම වගේ නොවන වෙලාවලුත් ඕන තරම්. ඒ වුණාට ඒව මේ වෙලාවෙ මතක් කරන්න ඕන නෑනේ. ඒව එහෙම තමයිනේ.. ;)

මම කාමරේට ඇවිත් ඇඳුම් උනන, කෑම කන සහ මුහුණ අතපය සෝදල පිහිදන ගමන් එක හුස්මට පොත කියවල ඉවර කලා. කාලෙකින් එහෙම පොතක් එක දිගට කියවල ඉවර කලේ. ඒ තරම්ම මේ පොත මාව වශී කලා. ඒකට ප්‍රධාන හේතුව දුක්ගන්නාරාලගේ භාෂා විලාසය කිව්වොත් හරි. නිකං මාවම ප්‍රශ්ණ කරන රීතියක්. නිරන්තරයෙන් අපි පහුකරන නොයෙක් දේවල් දිහා නැවතත් වෙනම මානයකින් හැරී බැලීමක්. හරිම අපූරුයි.

මේකට පෙරවදන ලියල තියෙන්නෙ ඩබ්ලිව්. ජයසිරි මහත්තය. එතුමගේ පස්සෙ ලියපු පෙරවදන තුලදිත් මම ලෝකාරම්භය ගැන බුදුන් දේශනා කලා කියන රස පොළොවේ කතාව රේඩියෝ එකෙන් අහන් ඇමරිකාවෙ ලෝක වෙළඳ මධ්‍යස්ථානෙ ගුවන් යානෙක නැගල ගිහිං පුපුරවල බෝම්බයක් බඩේ බැඳන් මම මැරෙනව නේද දෙයියනේ කියල හිත හදාගෙන මැරෙන්න ලෑස්ති වුණා. එක එක මිනිස්සු එකම වෙලාවෙ දිවි ගෙවන අනේකවිධ ක්‍රම ගැන මම හිත අවදි කලා. අනේ අපොයි මමත් හිතන දේවල්. කමක් නෑ මලවිකාරත් වමනෙ දානව කියල මම මුලින්ම කියලම තියෙන නිසා සේප් සේප්!

ඔය අස්සෙ පලමුවෙන්ම ලතීගෙ අතින් මට හදල දුන්න තේ එක නිසා මගේ බඩ අර සියළුම පෙම්වතුන්ගේ ඉගෙනගත් හෙවත් සාම්ප්‍රදායික බඩේ රුජාවෙන් පෙලෙන්න ගත්ත. ඒ තේ එකේ අති විශේෂ රසයක් නොතිබුණත් ඒක මට ගොඩක් රස වුණා නේද කියල මට හිතුණ. ආයෙත් ඒ වර්ගයේ තේ එකක් බොන්න ඕන කියල මගේ ඇතුලෙ ඉන්න ශිෂ්ඨ පිරිමිය හිත පුරවගෙන කෑ ගැහුව. එයා ගැන මම බලන්න එපැයි. එයා මම කියන සමස්ථය නිර්මාණය කරන කොටස් වල සාමාජිකයෙක්නේ.

ඉතිං ... ආලවක නරක නෑ කියන්නෙ මම කියවපු හොඳම කෙටිකතා එකතුවක්. එකම විධියට අපි හමදාම ගෙවන ජීවිතය ආයෙත් මුල ඉඳන් විඳින්න පටන්ගන්න හොඳ ඇරඹුමක්. අනික ජයසිරි මහත්තය කියල තිබුණ වගේ මේ කතා වල මහ ලොකු දෙයක් නෑ. ඒ වගේ කතා ලෝක ඉතිහාසයේ එදා මෙදාතුර හැමදාම සිද්ධ වුණා සහ වෙනව. හැමදාම කතා ලියන අය ලිව්වෙ එකම කතා ටික තමයි. ඒ වුණාට ඒ කතා ලියන විධි එකිනෙකාට වෙනස් නිසා හැමදාම අපි අළුත් කතා කිය කිය පරණ කතාම කියවනව.

කවුරු මොනව කිව්වත් කියවීම නම් මිනිසා සම්පූර්ණ කරයි තමයි. ඒ නිසා කියවන කෙනෙක්ට මේ පොත සෑහෙන්න වටිනව.

පොත කියවල අවසන් වෙද්දි මගේ හිත ලතී ගැන ආදරෙන් පිරුණ. එයත් එක්ක බලද්දි නම් මේ පොතේ තියෙන්නෙ පොඩ්ඩයි. එයා ගාවනේ හොඳම ටික තියෙන්නේ. මම කියන්නෙ එයා සර්ව සම්පූර්ණ ජනපද කල්‍යාණියක් නොවුණට සහ වෙලාවකට එයා ආලවකට විතරක් දෙවෙනි වෙන්න තරම් රුදුරු වුණාට ආලවකත් නරක නෑනේ දෙයියනේ. ඉතිං එයා කොහෙ නරක් වෙන්නද?

ලතී හරී ෂෝක්. එහෙම එකේ ඉතිං ආලවකත් හරි හොඳ යකෙක් තමයි.

7 comments:

  1. අනේ මටත් පොත කියවන්න ආස හිතුනා... නමත් ටිකක් අමුතුයි වගේ..:D

    ReplyDelete
  2. ඔය පොත මං ගාවත් තිබුනා...මම ගත්තේ දෙහිවල සරසවි ‍එකෙන්.. අරගෙන බස් එකේ ගෙදර යන අතරතුර පැයකින් කියවලා අවසන් කලා‍‍.. ගෙදර ගිහින් ආයෙත් කියෙව්වා.. බස් රථයක මම කියවු මුල්ම හා අවසාන පොත ඒකයි.. ඒ තරම්ම රසවත්.

    කාන්ච් අක්කේ අමුතු නෑ අමුතු නෑ

    ReplyDelete
  3. මේක ස්පෑම් එකක් කියල හිතන්න එපා. කථාවට අදාල නිසයි එවන්නේ.

    මේ රාලගේ අඩවිය.
    http://rala.info.lk/
    මේ ආලවක නරක නෑ
    http://rala.info.lk/?p=23

    ReplyDelete
  4. @හරේ සහ දසුන්
    කාලෙකට පස්සෙ හිතට සෙට් වුන දෙයක් කියෙව්වා.ගොඩක් ස්තුතියි.මරැ....
    ලෝකේ කොතනක වත් හොද හො නරක මිනිස්සු කියලා නෑ.මොන මිනිසත් හොදයි.
    ඇත්ත,
    මිනිස්සු හොද හෝ නරක වෙන්නේ ඒ මිනිසුන්ගේ අවශ්‍යතා අනුව, ඉන්නා ජිවත්වෙන පරිසරය අනුව.
    ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  5. ඔය පොත මම හෙව්වට ගන්න හම්බ උනෙ නැහැ. තවත් එකක් තියෙන්වා නේද? ආයි හොයල බලන්න ඕනේ

    ReplyDelete
  6. @ කා - ඔන්න දසුන් සබැඳියක් දීල තියෙනවා බලන්න ඕන නම්...

    @ මලී - ඔයත් ඒක එක හුස්මට කියෙව්වද? වෙන්න ඇති සාමාන්‍යයෙන් පොත් නොකියවන කෙනෙකුට වුණත් ඒක කියව්න හිතෙන්න පුළුවන්.

    @ දසුන් - නෑ නෑ අවුලක් නෑ. ඔයා හොඳ සබැඳියක් දීල තියෙන්නේ. මටත් සෑහෙන්න වැදගත් වුණා. බොහොම ස්තූතියි.

    @ ගැන් ස්ටාර් - ඇත්තම ඇත්ත. හොඳ නරක කියල පොදු සම්මත තිබුණට ඇත්තටම මිනිස්සු නරක් වෙන්නෙ එයාගෙ වට පිටාව අනුවයි. වට පිටාවෙ තියෙන වාතාවරණය අනුව එයාගෙ හැසිරීම වෙනස් වෙනව.

    @ ම - ඔය මලී ගාව තියෙනව කියන්නෙ. ඉල්ලුවොත් නොදෙන එකක් නෑ.

    ReplyDelete
  7. ela pothak wage:) balanna ona hoyala


    p.s
    lokoppaththiya gana aththatama budhun monaada kiwwe?:S

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!